Diego Maradona
Diego Maradona (Picture: Wikipedia)

“ඔබ අපව ලෝකයේ මුදුනට ගෙන ගියා. ඔබ අපව ඉමහත් සතුටට පත් කළා.”

ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස්

ඒ කලක් පාපන්දු ලොව වසඟ කළ ආජන්ටිනා සුපිරි පාපන්දු තරුව ඩියේගෝ මැරඩෝනා ගේ වියෝව වෙනුවෙන් ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් තැබූ සටහනකි.

සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියේගෝ මැරඩෝනා පසුගිය බදාදා (නොවැම්බර් 25) හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් විය.

අංක 10 ජර්සියෙන් පිටියට පිවිසුණු සුපිරි ක්‍රීඩක ඩියේගෝ මැරඩෝනා හඳුන්වන්නේ එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙක් ලෙසය.

එපමණක්ද නොව ආජන්ටිනාව තුල ජාතික වීරයකු වන ඔහු මිය යන විට 60වන වියේ පසුවූ අතර, මැරඩෝනාගේ මරණය හමුවේ ආජන්ටිනාව තුළ තෙදිනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම ලෝක පාපන්දු ක්‍රීඩා සංගමයෙන් එක් වරක් පමණක් පුද කරන 20 වන ශතවර්ෂයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි ‘FIFA Player of the 20th Century’ සම්මනයෙන් පිදුම් ලද මැරඩෝනා හඳුන්වනු ලැබුවේ “එල් පිබේ ඩි ඔරෝ” නොහොත් ඉංග්‍රීසි භාෂාවෙන්, ‘The Golden Kid’ යන අනුවර්ථ නාමයෙනි.

ඔහු ලෝක කුසලාන 4 ක් නියෝජනය කරමින් ආර්ජන්ටිනාව වෙනුවෙන් තරග 91 කදී ගෝල 34 ක් රැස් කිරීමට සමත් විය.

1960 වර්ෂයේ ඔක්තෝබර් මස 30 ආර්ජෙන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හී දී උපත ලද, ඩියේගෝ මැරඩෝනා ෆ්‍රෑන්කෝ සහෝදර සහෝදරියන් 7 දෙනෙකුගෙන් යුතු පවුලේ 5 වැනියාය.

ඟාති සොහොයුරෙකු (Beto Sarato) ගෙන් සිය තුන්වන උපන්දිනයට ත්‍යාගයක් ලෙස ලද පාපන්දුවකින් සිය පාපන්දු ජීවිතය ඇරඹි කුඩා මැරඩෝනා වයස අවුරුදු 9 වනවිට ප්‍රදේශයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස නමක් දිනාගන්නා ලදී.

පසුව ඔහු දේශීය පාපන්දු කණ්ඩායමක් වන ‘Little Onion’ වෙත තෝරා ගන්නා ලද අතර වයස අවුරුදු 12 දී ඔහු ‘Little Onion’ අතහැර ‘Los Sebolitas Club Ranchi’ ක්‍රීඩා සමාජයට බැඳුණු අතර වයස අවුරුදු 16සම්පූර්ණ වීමට දින 10කටත් පෙර වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස අබිසෙස් ලැබීය.

එපමණක් නොව 2003 වන තෙක් ආර්ජන්ටිනාවේ වෘත්තීය ලීගයට ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩකයා වූයේද මැරඩෝනා ය.ඔහු 1976 සිට 1981 දක්වා ආර්ජන්ටිනාවේ කනිෂ්ට පාපන්දු කණ්ඩායම වෙනුවෙන් තරඟ 166 ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ගෝල 111 ක් රැස් කළ කුඩා මැරඩෝනාගේ ආගමනයත් සමග ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම කාණ්ඩයේ 19වන ස්ථානයේ පැවති කණ්ඩායම 2වන ස්ථානය දක්වා ඉහළට ඒමද තවත් සුවිශේෂී සිදුවීමකි.

READ:   Unravelling Our Cosmic Origins

ඉන්පසුව 1977 වසරේ වයස අවුරුදු 16 දී මැරඩෝනා ජාතික කණ්ඩායමේ නිල් කමිසය දිනා ගැනීමට සමත් විය. ඔහුගේ පළමු තරගය වූයේ 1977 පෙබරවාරි 27 වන දින හංගේරියාවට එරෙහිව පැවති තරඟයයි.

කෙසේ වෙතත්, ඔහු 1978 ලෝක කුසලානය සඳහා ආර්ජන්ටිනාවේ ලෝක කුසලාන සංචිතයට නම් නොකරන ලද අතර. 1979 ජුනි 2 වන දින ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරඟයකදී මැරඩෝනා රට වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය.

එම වසරේම ආර්ජන්ටිනාවේ කණ්ඩායම තරුණ ශූරතාවලියට මෙහෙයවීමේ වගකීමද ඔහුට පැවරිණි. ඒ අතරම, තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ‘Golden Ball’ සම්මානයද හිමි කර ගන්නා ලදී.

1981 දී ‘Boca Juniors’ විසින් ඩොලර් මිලියන 1.96 කට මෙම සුපිරි ක්‍රීඩකයා අත්පත් කර ගන්නා ලද අතර එම වසරේම මැරඩෝනා ‘Boca Juniors’ පිළ සමඟ ආර්ජන්ටිනාවේ ලීග් සමාජ පාපන්දු ශූරතාවය දිනා ගත්තේය.

1982 දී ස්පාඤ්ඤයේ පැවති පාපන්දු ලෝක කුසලානය මැරඩෝනා සහභාගී වූ ප්‍රථම පාපන්දු ලෝක කුසලාන වන අතර එහිදී ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කළ තරඟ 5 දී ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් විය.

දෙවැනි වටයේ දී ඉතාලිය සමඟ පැවැති තරඟයේ දී ඉතාලි ක්‍රීඩකයින් විසින් මැරඩෝනාට 23 වතාවක් නීති විරෝධී බාධා කිරීම් සිදුකළ අතර එය පාපන්දු ලෝක කුසලානයකදී එක් තරඟයක දී, එක් ක්‍රීඩකයෙකුට කරන ලද වැඩිම නීති විරෝධී බාධා කිරීම් ප්‍රමාණය ලෙසින් සටහන් විය. ඒ ඔහු ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට දැඩි හිසරදයක්වූ නිසාය.

නමුත් 1982 පාන්දු ලෝක කුසලානයේ දී මැරඩෝනාට සිය උපරිම ක්‍රීඩා විලාශය පෙන්නුම් කිරීමට නොහැකි වූ අතර ආර්ජන්ටිනාව දෙවැනි වටයෙන් තරඟාවලියෙන් ඉවතට විසිවිය.

ලෝක කුසලානයෙන් පසු මැරඩෝනා ඇමරිකානු ඩොලර් මිලියන 9.81 කට​ බොකා ජූනියර්ස්(‘Boca Junior’) කණ්ඩායමේ සිට ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමට හුවමාරු විය. එම වාර්තා ගත මුදල දැක්වුනේ එවකට කණ්ඩායම් දෙකක් අතරේ ක්‍රීඩකයෙකු හුවමාරු වූ වැඩිම මුදල ලෙසයි.

1983 වසරේ දී බාර්සිලෝනා කණ්ඩායමට කෝපා ඩෙල් රේ ශූරතාව, ස්පාඤ්ඤ සුපර් කප් ශූරතාවය සහ ලා ලීගා කුසලානය දිනාදීමට මැරඩෝනා විශාල දායකත්වයක් සැපයීය.

READ:   විසිවන සියවසේ මහා බුද්ධිමතාගේ අමතක නොවන, 'අමතක සිදුවීම්'

මැරඩෝනා වසර දෙකක් බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර එහිදී තරඟ 58 කදී ගෝල 38 ක් වාර්තා කිරීමට සමත්විය. නමුත් විවිධ ආබාධ තත්වයන් සහ පිටිය තුළදී ඇතිකරගත් ගැටුම් නිසා 1984 දී බාසිලෝනා කණ්ඩායම විසින් මැරඩෝනා ඉතාලියේ නාපෝලි කණ්ඩායම වෙත හුවමාරු කරන ලදී.

ඒ පවුම් මිලියන 13.54 ක අති දැවැන්ත මුදලකටය. එම මුදලද දැක්වුණේ එතෙක් ක්‍රීඩකයෙකු හුවමාරු වූ වැඩිම මුදල ලෙස වන අතර එවන් ඉහල මුදලකට දෙවතාවක් කණ්ඩායම් දෙකක් අතර හුවමාරු වූ ප්‍රථම ක්‍රීඩකයාද මැරඩෝනා වේ.

1986 දී මෙක්සිකෝවේ පැවති ලෝක පාපන්දු කුසලාන තරඟයද ඇතුළුව ලෝක පාපන්දු කුසලාන හතරකට ක්‍රීඩා කළ ඔහු, 1986 දී අවසන් මහා තරඟයේදී බටහිර ජර්මනියට එරෙහිව තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවා, ආර්ජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය අත් පත් කර දුන් අතරම, තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ‘Golden Ball’ සම්මානයද හිමි කර ගන්නා ලදී.

Diego Maradona
Diego Maradona (Picture: Forbes.com)

එමෙන්ම එම ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟයට, පෙර පැවති එංගලන්තයට එරෙහිව තරඟයේදී ගෝල 2-1ක ජයක් ලබා ගනිමින් ලෝක පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ තමන්ගේ නම, රන් අකුරින් ලියා ගැනීමට මෙම සුපිරි ක්‍රීඩකයා සමත් විය. එසේම කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශ දෙකෙන්ම තරගාවලියේදී ‘Golden Ball’ සම්මානය දිනාගත් එකම ක්‍රීඩයකාද ඔහුය.

එම තරඟයේදී මැරඩෝනා විසින් එල්ලකල ගෝලයක්, අතින් එල්ලකරන ලද ගෝලයක් ලෙස ප්‍රතිවාදීන් සිය විරෝධතාවය විනිසුරුවන් වෙත යොමුකරත්, විනිසුරුවන්ටද එය නිවැරදිව නිර්නය කිරීමට නොහැකිවීම නිසා විරෝධය නොසලකා හරින ලදී. එය මැරඩෝනා විසින් එල්ලකරන ලද විශිෂ්ටතම ගෝලයක් වන අතර, ‘The Hand of God’ නමින් හඳුන්වයි.

තවද එංගලන්ත ක්‍රීඩකයින් පස්දෙනෙකු පසුකර, එක දිගට මීටර් 60ක් පමණ(යාර 66) බෝලය රැගෙන ගොස් තවත් ගෝලයක් වාර්තා කළ අතර පාපන්දු ක්‍රීඩාලෝලීන් එය හඳුන්වනු ලැබූයේ සියවසේ ගෝලය (Goal of the Century) ලෙසයි.

උසින් මීටර 1.65 ක්වූ මෙම විශිෂ්ටයා අනිත් පාපන්දු ක්‍රීඩකයන්ට සාපේක්ෂව ලොකු උසක් තිබුණු ක්‍රීඩකයෙක් නොවූවත් ඔහුගේ සාර්තකත්වයට හේතුවූයේ පාපන්දුව පාලනය කිරීම, පාපන්දුව පිරිනැමීම, ක්‍රීඩකයන් පසු කිරීම, වේගයෙන් දුවගෙන යනඅතර, දුවගෙන යන දිශාවට පාපන්දුව, ප්‍රතිවාදී ක්‍රීඩකයන් අතරින් වේගයෙන් අරගෙන යාමේ (Dribbling) හැකියාව, අනාගත දැක්ම සහ සිතීමේ හැකියාව සහ නායකත්වය ඔහු සතු විශේෂ හැකියාවන් විය.

READ:   ජීවය යනු ආශ්චර්යාත්මක සංසිද්ධියකි; වික්‍රමසිංහ හොයිල් සිද්ධාන්තය තහවුරු කිරීම

එමෙන්ම Free Kick අවස්ථාවන් වලදී, එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න ක්‍රීඩකයෙක් ලෙසත් ඔහු ප්‍රසිද්ධියක් ලැබුවා.

Diego Maradona
Diego Maradona (Picture: Britannica.com)

මැරඩෝනා සිය වෘත්තීය ජීවිතයේ දෙවන භාගයේදී කොකේන් වලට ඇබ්බැහි වීම සමඟ 1991 දී මත්ද්‍රව්‍ය පරික්ෂණ ධනාත්මක බව තහවුරු කිරීමෙන් පසු මාස ​​15 ක් පිටිය තහනමට ලක් විය.

2008 දී ආර්ජන්ටිනාවේ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මැරඩෝනා පත් වූ අතර 2010 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව සිය තනතුරෙන් ඉවත්ව ගියේය. අර්ධ අවසන් පූර්ව වටයේදී ජර්මනිය විසින් ඔහුගේ කණ්ඩායම පරාජය කරන ලදී.

2011 සහ 2012 අවුරුදු සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Pro League’ තරගාවලියේ ඩුබායි වල පාපන්දු සමාජයක් වන වන ‘Al Wasl’ පාපන්දු සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කළ මැරඩෝනා, 2017දි ‘Fujairah’ පාපන්දු සමාජයේ පුහුණුකරු බවට පත්විය.

2018 වසරේ මැයි මාසයේදී මැරඩෝනා, ‘Belarusian’ පාපන්දු සමාජයේ නව සභාපතිවරයා විදිහට තේරී පත් විය.

2018 වසරේ සැප්තැම්බර් මස සිට 2019 වසරේ ජුනි දක්වා මැරඩෝනා, මෙක්සිකානු පාපන්දු සමාජයක් වන ‘Dorados’ පාපන්දු සමාජයේ පුහුණුකරු විදිහට කටයුතු කළ අතර මැරඩෝනාගේ ජීවිතයේ අවසාන සමයයේ මැරඩෝනා ආර්ජන්ටිනාවේ ‘Gimnasia de La Plata’ පාපන්දු සමාජයේ පුහුණුකරු තනතුර හොබවන ලදී.

මේ මස මුලදී ඔහුගේ මොළයේ රුධිර කැටියක් හේතුවෙන් මිනිත්තු 80 ක හදිසි ශල්‍යකර්මයකට භාජනය වූ ඔහු , පසුගිය නොවැම්බර් 25 හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වූ බව සැලවීමෙන් ලොවපුරා සුවහසක් පාපන්දු ලෝලීන් දැඩිලෙස කනස්සල්ලට පත් විය.

සැබවින්ම ඩියේගෝ මැරඩෝනා යනු පාපන්දු පුරාවෘතයකි.

Peles message about Diego Maradona
Foot Ball King Pele’s Twitter Message
Lionel Messi Tribute to Diego Maradona
Lionel Messi Tribute to Diego Maradona

©️ Dinesh Abeywickrama

Dinesh Abeywickrama Ph.D. (Reading), MBCS, MBA, BCS

Follow me to get latest Updates
Facebook https://www.facebook.com/Samuraidinesh
Twitter https://twitter.com/dineshabeywick
Instagram https://www.instagram.com/samuraidinesh/
LinkedIn https://lk.linkedin.com/in/samuraidinesh

Facebook story: https://www.facebook.com/Samuraidinesh/posts/10224870925902434